මුවරද පිරුණු මල් අතරෙහි නොදුටිමි මම ආදරේ
සඳ දිය දෙවුණු ගං දෑලක නොදුටිමි මම ආදරේ
කඳු වියනේ හරිත රටා අතරේ නොදුටිමි මම ආදරේ
තනි යහනේ හුදකලාව උණන කඳුල ආදරේ

සැණකෙළියේ මධු බඳුනේ පතුලෙ නොමැත ආදරේ
මහ මැදුරේ මුදු පලසෙහි පිය නොනඟයි ආදරේ
හිමිදිරියේ පහන් තරුව නොදනී ඒ ආදරේ
තනි වූ සිත් තුළින් නැගෙන දුක් ගීයයි ආදරේ

සුන්දර රාත්රියකි මනරම්
යළි නොඑන ගෙවී යන
තරිඳු කිරණත් හෙමින් ඇවිදින්
කවුළු දොර අස්සෙන්
යහනතේ හිස මතට වැටිලා
සුමුදු එළියෙන් මුව පෙනෙයි
ලංව වෙළිලා දෑත් පටලා
මුවෙහි උණුසුම සොයා යයි
තිසර තුඩු හිස ඔසවලා විත්
ඇඟිලි තුඩු මත තුඩු දෙවයි
රැහැයි නාදෙත් නිසල වී ගොස්
හදවතේ හඬ සවන පතුරයි
එපා රිවිඳුනි නැගී එන්නට
සොඳුරු රාත්රිය ගෙවී යයි

හරි උසින් නුඹ පිපී
නෙළන්නට බැරි බැවින
ලස්සනයි නුඹ ඉතින
නෙලූ මල් පරදවන
නෙළන්නට බැරි නිසා
පර නොවෙයි විගසකින
නෙලූ මල් වාගේ
දමා ඇති බඳුනේ
නෙලූ මල් සැමදාම
සිතේ පිපිලා රුවට
නෙලාගත් දෑත හිමි
පර නොවෙයි කිසි දිනෙක
වනේ පිපි මල් ලෙසින

සඳවත පවා වැසිලා ඇත දූවිල්ලෙන්
හදවත නමුදු නැලැවී යයි ඕවිල්ලෙන්
සවනත වැටෙන කුරවී ගී වැලැපිල්ලෙන්
පදරුත් සොයමි ඔබ කඳුලැලි ගඟුලැල්ලෙන්